යම් ක්‍රියාවක් සිදුකොට නැවත නැවත සිහිපත් වන විට තැවීමක් නොමැති වේ නම්... සිත යහපත්වූ ප්‍රීතියෙන් පිනා යන්නේ නම්... යහපත්වූ දෙයක් යැයි සැනසීමට හැකි වන්නේ නම්... එවන් වූ යහපත් කුසල කර්මයන්ම සිදුකිරීම මැන.
ඓතිහාසික වෙහෙර බැන්ද කුටිය පුණ්‍ය භූමියට වැඩම කල තිස්ස හිමියන්ට වාසය කිරීම පිණිස ඒ ඝණ කැලය මැද අතහැර දමා තිබූ එක දොරක් සහිත පුංචිම පුංචි කුටියක් පිලිබඳව විස්තර මෙසේ දිග හැරේ. මැටි ගසා ලී කණු සිටවා තහඩු වහලයකින් යුතු ශාලාවක් මෙහි තිබූ වටිනාම ගොඩනැගිලි බව උන්වහන්සේ පවසන්නේ නිහතමානීව මඳ සිනහවක්ද සහිතවය. වැල් කැඩුනු එකම පුටුව මත ලෑලි කෑලි දෙකක් තබා හසුනක් සකසා ගත් අතර කුඩා කාමරය තුළ තිබූ පැරණි කුඩා ඇඳ දින කිහිපයකට පමණක් තමන් වහන්සේගේ සුව යහන වූ බව පවසන්නේ අව්‍යාජ සිනහවකින් මුව සරසාගෙනය.
ටික දිනකින්ම එකම කුඩා කුටියේ රාත්‍රිය ගත කිරීම අනතුරුදායක බව වැටහී ගියේ රාත්‍රිය පුරාවටම ඇඳමතට වැටුනු විෂකුරු සර්පයන් හා මීයන් නිසාවෙනි. එයින් මිදීම පිණිස නිරාවරණය වූ මැටි බිත්ති සහිත බණ මඩුවේ තිබූ අබලන් වූ පැරණි වඩු බංකුව ස්වකීය නිදියහන ලෙස පසුව තෝරාගැනීමට සිදුවූ බව පවසන්නේ දුෂ්කර ජීවිතයේ කටයුක බව කොතරම්දැයි කියා පාමින්ය.
දින සති මාස ගතවෙද්දී අප්‍රමාණ හිරිහැර බාධක මැද තමන්වහන්සේ පයින් ඇවිද ආ දුෂ්කර අඩිපාර පුරා පිහිටි විශාල ගල් තවත් කීපදෙනෙකුගේ ආධාරයෙන් එකින් එක කඩා ඉවත්කලේ දැඩි දුෂ්කරතා මධ්‍යයයේය. ටික කලකින්ම යන්තම් වාහනයක් යන්නට එන්නට හැකි අයුරින් මහන්සියෙන් පාර තනාගත් අතර සොර සතුරන්ගේත් නොදැමුණු මිනිසුන්ගේත් දවල් කාලයේ පවා ගැවසුනු වල් අලින්ගේත් වෙනත් වන සතුන්ගේත් නිතර නිතර සිදුවූ ඉමහත් පීඩාවන් ඉවසා දරාගත්තේ ඉමහත් අධිශ්ඨානශීලීත්වය නිසාමය.
මෙත් සිත් පෙර දැරිව කලාවු කටයුතු නිසාම පොලීසිය හෝ වෙනත් ආරක්ෂක අංශ යොදවා කිසිවෙකු මට්ටු කරන්නට නොසිතූ තිස්ස හිමියන් මේ වන විට ඒ සෑම සියලු දෙනාගේම සිත් දිනාගත් සෑම දෙනාටම යහපතක්ම ඉටු කරදුන් වීරයෙකු වී සිටින්නේ මෛත්‍රී සහගත චිත්තයේ ආශ්චර්යය ලොවටම පෙන්වා දෙමින්ය.
හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහ ගාමීණී සෙනරත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී මහතාගේ කාරුණික අනුග්‍රහයෙන් යුතුව මිලියන එකසිය තුනක (103) වියදමින් විහාරස්ථානයට අභිමුඛ වූ සියලු මාර්ග කාපට් දමා උන්වහන්සේගේ නමින්ම ජනතා අයිතියට පත්කර දුණි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. එම්. කුමාරසිංහ මහතා විසින් විහාර මාවත අප නායක හාමුදුරුවන්ගේ නමින් නම් කිරීම පිළිබඳව උන්වහන්සේ සඳහන් කරන්නේ බොහෝම නිරහංකාරවමය.
ගම්පහ මුදුන්ගොඩ කුමාර මිල්ස්හි අධිපති කුමාරසිරි පඬුවාවල මැතිතුමන් ස්වකීය ලක්ෂ ගණන් ධනය යොදවා මෙම විහාරස්ථානයට අභිනව විවේක කුටි කීපයක්ම සකසා දීමත් සෑම විශේෂ අවස්ථාවකම ස්වකීය ධනය, ශ්‍රමය පරිත්‍යාග කරමින් විහාරස්ථානයේ දියුණුවට කටයුතු කරන බව හිමියන් පවසන්නේ බොහෝම කෘතවේදීත්වයෙනි.
අලුත් විහාර ගෙයක්, ධර්ම ශාලාවක්, බෝමළුවක්, සංඝාවාසයක්, රමණීය විවේක කුටි, ජලය පිරුණු පොකුණු ආදිය ඉදිකරමින් මේ වන විට මේ “කුටිය පන්සල් භූමිය“ ඉතාමත් ආකර්ශණීය භූමියක් බවට පත්කරදෙන්නට තිස්ස හිමියන් සමත්ව ඇත.