වරදක් දුටු කල වරද පෙන්වා දෙන්නාවූ, යහපත්වූ කළණ මිතුරා නිධානයකට මඟ පෙන්වන්නෙක් වැනිය... එවන් වූ පණ්ඩිතයන් ඇසුර ලබන්නා හට අවැඩක් නොමවේ... යහපතක් අභිවෘද්ධියක්ම වේ... එබැවින් එවැනි ඇසුරම ලබන්නේ නම් මැනවි.
බස්නාහිර පළාතේ වැලිසර ප්‍රදේශයේ ඇම්. ඊ. ද සිල්වා මැදදූවගේ සහ පී. පේමාවතී ද සිල්වා මැද දූවගේ යන දෙමව්පියන්ට දාව පිරිමි 8 දෙනෙකුගෙන් සහ එකම දියණියකගෙන් යුතු පවුලක 5වැන්නා ලෙසින් අශෝක කීර්ති මැදදූවගේ නමින් උපත ලැබූ පිරිමි දරුවෙක් විය.
මූලික අධ්‍යාපනය වැලිසර මත්තුමගල කරුණාරත්න මධ්‍ය විද්‍යාලයෙන් ලැබූ අතර කුඩා කල සිටම ශ්‍රද්ධාසම්පන්න ගති පැවතුම් ප්‍රකට කළ මෙම කුමරුවාට ඥාතීත්වයෙන් පසුවුණු නැගෙනහිර පළාතටත් රටටත් ජාතියටත් විශිෂ්ඨ සේවාවක සිදුකල අපවත් වී වදාළ ත්‍රිකුණාමල වෙල්ගම් රජමහා විහාරාධිපති මාදූවේ රතනවංස තිස්සාභිධාන නායක මාහිමියන්ගේ මුණගැසීම මොහුගේ ජීවන මග දෛවෝපගත ලෙසින් වෙනස් කිරීමට හේතුවක් විය. 1968 ඔක්තෝම්බර් 13 වෙනි දින ත්‍රිකුණාමල වෙල්ගම් රජමහා විහාරයේදී වැලිසර ජිනවංස තිස්ස නමින් පැවදි භූමියට ඇතුලත් වූ අතර කැළණිය පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත්ව ධර්ම ශ්‍රාස්ත්‍ර හදාරන්නට විය.
බලපිටි මෝදර මාදු නදියේ උදකුක්ඛේප සීමා මාලකයේදී නාගදීප රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත බ්‍රාහ්මණවත්තේ ධම්මකිත්ති තිස්ස මහානායක මාහිමිපාණන්වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1978 ජුලි මස අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලද උන්වහන්සේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට බාහිර ශිෂ්‍යයෙකු ලෙස ඇතුළත්ව ප්‍රථම ශාස්ත්‍ර පරීක්ෂණය සමත්ව විශ්ව විද්‍යාල අධ්‍යාපනය අවසන් කළද උපාධි සහතික පිළිබඳ සැළකිලිමත් නොවීය. කියුබානු තානාපති කාර්යාලයේ භාෂා අධ්‍යාපන ආයතනයෙන් වසර තුනක ස්පාඤ්ඤ භාෂා පාඨමාලාව හදාරා එම පාඨමාලාවෙන් උසස් ලෙස සමත්විය. පසුව රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ රුසියානු භාෂාවත්, ජපන් සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ජපන් භාෂා පුහුණුවත් ලද උන්වහන්සේ ශිෂ්‍යත්වයක් ලැබ 1982දී ජපානයට වැඩම කොට කලක්ම ජපානයේත්, තායිලන්තයේත්, බුරුමය, සිංගප්පූරුව ආදී රටවල්වලත් ධර්ම දූත කටයුතු වල නිරත විය. විද්‍යාලංකාර පිරිවණේ ශිෂ්‍යයෙකු ලෙසත් පසුව එහිම ආචාර්යවරයෙකු හැටියටත් විද්‍යාලංකාර පිරිවණේ පැවති ඓතිහාසික ධර්මසංඝායානාවේදී සංගීතිකාරක යතිවරයෙකු ලෙසත් ක්‍රියා කල කොළඹ පළාතේ ප්‍රධාන සංඝනායක කලුවාමෝදර රාහුලතිස්සාභිධාන නායක මාහිමිපාණන්ගේ ශිෂ්‍යභාවයද ලැබූ අප කථානායකයාණන්වහන්සේ උන්වහන්සේගෙන්ද ධර්ම ශ්‍රාස්ත්‍ර පිළිබඳ මනා දැනුමක් ලබාගන්නට යෙදුණි.
1982 සිට 1992 දක්වාම දිගින් දිගටම විදේශ ධර්මදූත සේවයේ යෙදුණ තිස්ස හිමියන්ගේ ජීවිතයේ විශිෂ්ඨම යුගය ඇරඹෙන්නේ අනුරාධපුරයට පැමිණීමත් සමඟය. 1994 අගෝස්තු 03 වන දින, කාලයත් සමඟින් නටඹුන්ව ගොස් ඝණ කැලයට වැසී අලි කොටි වලසුන්ගේ නිජබිමක්ව පැවති ඓතිහාසික වෙහෙර බැන්ද කුටිය පුණ්‍ය භූමියට වැඩම කල තිස්ස හිමියන් ස්වකීය පැවිදි ජීවිතයේ අතිශයින්ම දුෂ්කර වූ ශාසනික මෙහෙවරට අත තබනු ලැබීය.
12වන සියවසේ සිට මහා වනයෙන් වැසී වල්බිහිව තිබූ ඓතිහාසික “වෙහෙර බැන්ද පර්වත ලිපිය“ නිසා ජාතියට ඉතා වැදගත් වූ මෙම පින්බිම ගොඩ නැගීම මුන්වහන්සේ සලකන්නේ තමන් වහන්සේට පෙර අත්බවයන්ගේ සිටම උරුම වූ කටයුත්තක් ලෙසය. බුරුම රටේදීත් මෙරටදීත් මුණගැසුණු යම් යම් සැඟවුණු දේ හෙළි කල හැකි ගුප්ත විද්‍යාධරයන් විසින් මෙම භූමිය තමන්ට උරුම භූමියක් ලෙසින් දන්වා සිටි බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
එවකට අනුරාධපුර ක්‍රීඩා අධ්‍යක්ෂව සිටි කේ. අබේසුන්දර මහතා, වසන්ත චන්ද්‍රසේකර මහතා සහ රංජිත් පඬුවාවල සොහොයුරන් සමඟ මෙම භූමියට පැමිණි විට තමන්ට හුරු පුරුදු ස්ථානයක් ලෙසින් දැනී “මේ තැන නම් මගේ තැන තමා“ යන්න මුවින් ගිලිහී ඇත.
පින් කෙතක නික්ම යෑම...
අපූරු ඇරඹුමක්...
ගමට එළියක්...
සැමට සරණක්...
පෞරාණික පෞඩත්වය නැවතත්…